දරුවන් සුරැකීමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති පවසයි....

February 21, 2019

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.

දරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද මතුව තිබෙන විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බවයි.