කොවිඩ් වෛරසයට අදාලව මූල්‍යමය වශයෙන් විදේශ ආධාර ලැබී නොමැත.

කොවිඩ්-19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර මුදල් ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. ‍ෙකොරෝනා වෛරස ආසාදිත පළමු රෝගියා වාර්තා වීමෙන් සිට වෛරසය මැඩපැවැත්වීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම රෝගය පාලනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුද්ධි අංශ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර තබේ. විදේශ ආධාර ලැබීම් සහ වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල කරන අතර ඒ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති බව සදහන්ය. කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ විදේශ ආධාර මුදල් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සැපයීමේ හැකියාව පවතින්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි. ඒ අනුව ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අමෙරිකානු ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාල ගිවිසුම් අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ දක්වාත් එම මුදල් මෙරටට ලැබී නොමැති අතර ඉදිරියේදී ඒවා ලැබීමට නියමිතව පවතින බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.

කොවිඩ් වෛරසයට අදාලව මූල්‍යමය වශයෙන් විදේශ ආධාර ලැබී නොමැත.