කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි....

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 27 දින පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය. රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන ගම්මානය/කලාපය ට ආරම්භය තබමින් අග්‍රාමාත්‍යතුමා ටීජේසී අඹ පැළයක් සිටවූයේය.
අනතුරුව ඉහළ අලුත් වැවට අග්‍රාමාත්‍යතුමා මත්ස්‍යයන් මුදා හැරියේය.
මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රදේශවාසීන්ට අඹ, කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන බෝග පැළ බෙදා දෙනු ලැබුවේය.
මෙම වැඩසටහනට සමගාමීව අනෙකුත් බෝගවලට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැළ 100000ක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම්කර තිබේ.
වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් 2% ක් ව පවතින දායකත්වය වර්ෂ 2025 දී 4% ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.
ඒ අනුව පළාත් නවය තුළ පාරිසරික, දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු අපනයනය ඉලක්ක කර ගත් කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග හා ටීජේසී අඹ, මී මැසි පාලනය වැනි අපනයන ඉලක්ක කර ගත් හා ආනයනය අවම කර ගත් බෝග වගා කිරීම සිදු වේ.
අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි වගා බිමි හා වගා කරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අදියරේ වැඩ කටයුතු දැනට ක්‍රියාත්මක අතර 2021 වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප/ ගම්මාන 100ක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙමගින් ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කොට නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂිතය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අමතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මිත්‍රවරුනි,
මට මතකයි මේ ආණ්ඩුව පත්වෙලා නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීපු වෙලාව. එදා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයිති නම් කියවනකොට සමහරුන්ට හිනා ගියා. ටික දවසක් යනකම් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් ඇමැති කියලා. ප්‍රසන්න රණවීර ඇමැතිතුමාට කිව්වේ මැටි ඇමැති කියලා. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍යංශය භාරගන්නත් අදි මදි කළා. අපි මේ අමාත්‍යංශය හඳුන්වන්නේ උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කියලා. අපි මේ විදිහට බුලත්, කජු, බඩඉරිගු ආදී වශයෙන් අමාත්‍යාංශයට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් ලබාදීමේ අරමුණ ඇතුව.
මිත්‍රවරුනි,
තමුන්නාන්සේලා දන්නවා 2005 මහින්ද චින්තනය කියලා ඉදිරිපත් කරනකොට බොහෝදෙනෙක් ඒ නමට හිනා වුණා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ යුද්ධය අවසාන කරලා රටේ සංවර්ධනය ඇති කරලා රට ගොඩනගන කොට ඒ හිනා වෙච්ච අයට උත්තර නැති වුණා. ඒ මහින්ද චින්තනයේ දිගුවක් හැටියට තමයි සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. සෞභාග්‍යයේ දැක්මෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දේශිය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනයනයන් මූලික කරගත්ත ආර්ථික ක්‍රමයක් හඳුන්වාදෙන්න. මේක කරන්න මුලින්ම උත්සහ කළේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය. ලබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට එදා මතකයි එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනයනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගන්න.
මැතිණිය 1972 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටෙව්වා. මේ රටේ කුළු බඩු ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා මුල්ම අඩිතාලම එතුමිය දැම්මා. නමුත් දේශීය ආර්ථිකයක් ගොඩනගාගෙන යනකොට එතුමියට විශාල බාධාවල් එදා ඇති කළා. 1977 වෙනකොට එතුමියව පරාදත් කළා. ආර්ථිකය දේශීය වශයෙන් ශක්තිමත් කරන්න හදන කොයි ආණ්ඩුවටත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ.
මිත්‍රවරුනි,
අපේ රටේ කුරුඳු ඇතුළු නිෂ්පාදනවලට ලෝකයෙ ලොකු අනන්‍යතාවක් තියෙනවා. පෘතුගිසින්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන් ආවෙත් මේ රටේ තේ, පොල්,රබර් හොයන්න නොවෙයි. ඒ අය ආවෙත් කුරුඳු, ගම්මිරිස් සාදික්කා වගේ මූලික කුළු බඩු හොයන්න. ඒ අය ඉන් පස්සේ තේ, පොල්, රබර් මුල් කරගත් ආර්ථිකයක් හැදුවා. නිදහස ලැබුණට පස්සේ අපේ අය කුළු බඩු ප්‍රධාන ආර්ථිකය ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඒවා විනාශයට යන්න ඇරියා. විදේශිකයෝ අපට දීපු තේ, පොල්, රබර් ගැන විතරක් විශ්වාසය තිබ්බා.

මෑතක් වන තුරු අපේ රටට කජු, අඹ, පේර, සියඹලා පවා ගෙන්වූවා. ඉදල් කොහු විතරක් නොවෙයි කැටපෝලයත් ගෙන්වූවා. ඉරටුත් ගෙන්වූවා. එහෙම කළාම මේ රටේ විදේශ විනිමය රටට අහිමිවීම විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ රටේ ජනතාව උපන්ගෙයි බෝඩිම්කාරයෝ බවට පත් වෙනවා.
මිත්‍රවරුනි,
අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට. අපේ ජනතාව මනසින් මොනතරම් වහලුන් කළාද කිව්වොත් මේ රටට අඹ, කජු, අන්නාසි, පේර,ඉරටු, කැටපෝල ගේනවට නෙමෙයි හිනා වුණේ. කජු වවනවට සියඹලා වවනවට ඒවා වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කරන එකට තමයි මේ රටේ අය හිනාවෙන්න පටන් ගත්තේ. නමුත් මතක තියාගන්න ඕන අපේ රටට අපේ ප්‍රතිපත්තියේ ඵලය දැන් ලැබෙමින් තිබෙනවා.
කහ ආනයනය කරන්න රුපියල් මිලියන 1000ක් (දාහක්) අපි වාර්ෂිකව වැය කළා. අපි කහ වසරක් ආනයනය කරන්නේ නැතුව ගොවියාට කහ වවාගන්න ඉඩදීලා තිබුණා. කහ රටින් ගෙන්වන්නේ නැහැ වෙළෙඳපොළේ කහ හිඟයි කියලා , දැවැන්ත විරෝධයක් මේ රටේ ඇති කළා. නමුත් අපි ඉවසගෙන ඒ විරෝධයන්ට මුහුණදීලා හොරෙන් ගේන කහවත් වෙළඳපොළට දාන්නේ නැතුව අපේ බිමේ කහ උපදිනකන් අපි වැඩ කළා. අද වෙනකොට කහවලට පිටරටට ඇදෙන රුපියල් මිලියන 1000ක් (දාහක්) මේ රටට ඉතුරු වෙනවා.
ඒ විතරක් නොවෙයි 2019 රුපියල් මිලියන 63000ක් (හැටතුන් දහසක්) වෙලා තිබුණ අපනයන කෘෂි භෝග ආදායම අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000 (හැත්තෑතුන් දහස) දක්වා වර්ධනය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද වන විට තේ, පොල්, රබර් මත යැපුනු ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබාදෙන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා.
මිත්‍රවරුනි,
එදා අපිට මේ රටේ ජනතාවට රැකියා දෙන්න නම් විදේශ ආයෝජකයින්ට වඳින්න සිද්ධ වුණා. විදේශ ආයෝජකයෝ ලංකාවට එනකම් බලාගෙන ඉන්න සිදුවුණා. ඒ අය මේ රටේ කර්මාන්තශාලා ආරම්භ කරලා රැකියා දුන්නත් ඒ රැකියා වලින් උපදින ආදායමත් ගියේ විදේශ වලට. ඒකට හේතු වුණේ අපිට වවාගන්න පුළුවන් හදාගන්න පුළුවන් සියලු දේ පිටරටින් ගෙනාවම රැකියාවෙන් උපයන ආදායමත් ඒවා මිලදී ගන්නකොට විදේශවලට ඇදිලා ගියා. ඒ තත්ත්වය තමයි අපි දැන් වෙනස් කරගෙන යන්නේ. අපි අලුත් දේ හදන්න ඕනෑ.
ඒ නිසා දැන් අපි අපේ කුළු බඩුවලට අමතරව අළුත් අපනයන නිෂ්පාදනයක් හඳුනාගෙන තියෙනවා. ඒ TJC අඹ, TJC අඹ කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්. මේ අඹ අපනයනය සදහාම සකස් කරපු වියළි කලාපයට ඉතාම උචිත ඉහල ආදයමක් ලබා ගන්න පුළුවන් භෝගයක්.

ඔබේ ප්‍රදේශයට TJC අඹ පැළ 100,000ක (ලක්ෂයක) අඹ කලාපයක් අද දවසේ නිර්මාණය වෙනවා. ඔබේ වත්තට පැළ 25 ක් ලබා දෙමින් පවුලේ අර්ථිකය ශක්තිමත් කරන්නත් එතුළින් රටේ ජාතික ධනය නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එවගේම කජු පැල ලක්ෂයක් සිටුවා කජු කොරිඩෝවක් අපි හදනව. එදා හදන්න හැදුවේ ඇමෙරිකාවේ ආර්ථික කොරිඩෝවක්. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක්.

මේක තමයි අපේ වෙනස. ඔබ වවන හැම අඹ , කජු, බඩඉරිගු පැළයක්ම මේ රටේ ස්වාධීනත්වය රකින්න කරන උත්සාහයක්. ඒ හැම පැළයක්ම රටේ ආර්ථික නිදහසේ
සලකුණක්.අලුත් සිතුවිලි ඇතිව මේ උත්සාහයට ඔබේ ධෛර්යය අපට ලැබේ යැයි මා විශ්වාස කරනවා.
ප්‍රධාන වැවිලි භෝග ආශ්‍රයෙන් ශ්‍රී ලාංකේය අපනයන ආදායමට විශාල දායකත්වයක් ලැබෙනවා ඒ වගේම කෘෂි කලාප තුළ කුඩා වැවිලි භෝග හා අපනයනය ඉලක්ක කර ගත් භෝග වගාව තුළින් ඉදිරි අනාගතයේදී සැලකිය යුතු මට්ටමේ අපනයන ආදායමක් රටට හිමිකර දීමට හැකියාව ඇති බව මාගේ විශ්වාසයයි. හම්බන්තොටින් නොනැවතී මුළු රට පුරාම නව වගා සංග්‍රාමයක් ඇති කිරීමට මෙම වැඩසටහන හේතු වනු ඇතැයි මම විශ්වාස කරනවා. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් අපේ රටේ ආර්ථිකය ස්වයංපෝෂිත කරමින් ඉහළ අදායම් උපයන ගොවි ව්‍යවසායකයින් බිහි කිරීමයි.
ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
කසාගල රජමහා විහාරාධිපති තලංපෝරුවේ ඉන්ද්‍ර ශ්‍රී සුමන හිමි, කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ ශ්‍රීලානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ,උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ අභයරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි....