සහරාන්ගේ අරමුණු ජනපති කොමිසමේ දී හෙළිවෙයි



පාස්කු ඉරුදින මෙරට ප්‍රහාරයක් සිදුකිරීමට අදාල හේතු රැසක් එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ (29) අනාවරණ වුණි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එහිදී සාක්ෂි ලබාදෙමින් පැවසුවේ සහරාන් හෂිම් ප්‍රහාරයට පෙරදින ගල්කිස්ස ප්‍රදේශයේ දී පටිගත කළ වීඩීයෝ පටයකින් අදාල හේතු අනාවරණ වන බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ පස්වරුවේ පෙනී සිටියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ 2017 දෙසැම්බර් 09 වන දා එවක පොලිස්පති පූජිත් පූජිත ජයසුන්දර මහතා අත්සන් තැබූ බුද්ධි තොරතුරක් තම කොට්ඨාශයට ලැබුණු අතර ජමීල් මොහොමඩ් නැමැත්තා IS මතවාදය දරන අන්තවාදී පුද්ගලයෙක් බැවින් ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තා කරන ලෙස එහි සඳහන්ව තිබූ බවයි. පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ සිදු වූ පිපිරීමට සම්බන්ධ වූයේ එම පුද්ගලයායි. ඒ අනුව අදාළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කර අවස්ථා 8 කදී ඒ පිළිබද වැඩිදුර වාර්තා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යැවූ බව සාක්ෂිකරු සඳහන් කළේය. 2018 අප්‍රේල් 12 වනදා ජමීල් මොහොමඩ්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දන්වා යවා තිබූ බවත් ඔහු පැවසුවේය. නමුත් 2019 අප්‍රේල් 8 වනදා පොලිස්පතිවරයාට මේ ගැන යැවූ අවසන් වාර්තාවේද සදහන්ව තිබී ඇත්තේ  ජමීල් මොහොමඩ් නමැත්තා අන්තවාදයට නැඹුරු වී ඇතැයි වාර්තා වී නොමැති බවයි. පසුව විමර්ශන නිලධාරියා කොමිසමට ඉදිරිපත් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහු සිදුකළ විමර්ශනයන් සම්බන්ධයෙන් වූ තොරතුරුයි. ඒ අනුව තමා පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත ගොස් පරික්ෂා කිරීමේදී බෝම්බකරු වශයෙන් ජමීල් මොහොමඩ් නැමැත්තා හඳුනා ගැනීමෙන් පසු නිලධාරීන් පිරිසක්ද සමග ජමීල්ගේ වැල්ලම්පිටිය නිවසට යනවිට සැකකරුගේ බිරිඳ සහ තවත් පිරිසක් නිවසේ සිටි බවත් සාක්ෂිකරු පැවැසුවේය. පසුව ජමීල් මොහොමඩ්ගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රහාරය සිදු වූ දින උදෑසන කාලයේදී බෝම්බකරු ඇයගේ ජංගම දුරකතනය වෙත Whatsapp ඔස්සේ හඩ පටියක් එවා තිබුණු බව සොයාගෙන තිබේ. "ශිෆානා,ඔබ මට කෝල් කරන්න එපා මම මේ වෙනකන් කිව්වේ බොරු..මම අල්ලාහ්ගේ මඟ යනවා.පොලිසිය ආවොත් මෙය පෙන්වන්න" යනුවෙන් එම හඬපටියේ අන්තර්ගතය සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළේය.  කොමිසමේ සභාපති විනිසුරුවරයා රජයේ රස පරීක්ෂකට නියෝග කළේ හඬපටයේ පසුබිමින් ඇසෙන දරුවන් ගේ කටහඬ , සහරාන් හෂීම් ගේ දියණියගේ කටහඬ සමග හෝ ජමිල් මොහොමඩ්ගේ දැනට ජීවත්ව සිටින දරුවන්ගේ කටහඬ සමඟ සැසඳෙනවා දැයි පරික්ෂා කරන ලෙසයි. පාස්කු ප්‍රහාරයට පෙර දින සහරාන් විසින් පටිගත කළ තවත් වීඩියෝ පට රැසක් හමුවී තිබූ අතර ප්‍රහාරය එල්ල කිරීමට පාස්කු ඉරුදිනම තෝරා ගත්තේ ඇයිද යන්න හේතුව එහි  සඳහන්ව ඇත්දැයි කොමිසම ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් විමර්ශන  නිලධාරියා සඳහන් කළේ ප්‍රහාරය සිදු කිරීමට හේතු 4ක් සහ ප්‍රහාරය ශ්‍රී ලංකාව තුළ දීම සිදු කිරීමට හේතු 10ක් එහිදී සහරාන් විසින් සඳහන් කර තිබුණු බවයි. ඒ අනුව සහරාන් ඇතුළු සෙසු බෝම්බ කරුවන් කළු පැහැති ලෝගු ආකාරයේ ඇඳුම් ඇඳගෙන සිදුකළ ප්‍රතිඥාවට පෙර ඔවුන් බිම වාඩිවී  පටිගත කළ මෙතෙක් කිසිදු මාධ්‍යය ඔස්සේ පළනොවුනු වීඩියෝ දර්ශනයක් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රථම වරට ඉදිරිපත් කළේය. ප්‍රහාරය සඳහා පාස්කු ඉරුදින තෝරාගැනීමට ප්‍රධාන හේතු 4 ක් එහි දක්වා තිබුණි. 1. අල්ලාහ් දෙවියන් විසින් අනුමත කර ඇති ක්‍රියා වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියා ප්‍රතික්ෂේප කිරීම  2. හිටපු IS නායකයා බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කර එම මුස්ලිම් ජනතාව මරා දැමීමට එරෙහිව පලිගැනීම 3. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි ජනතාව ඝාතනය කිරීම 4. ඉරාකය, සිරියාව වැනි රටවල මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට පෙරමුණ ගත් විරුද්ධවාදීන් ලංකාවට පැමිණ සංචාරය කිරීම  යන කරුණු නිසා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් වලට ප්‍රහාරය එල්ල කළ බව සහරාන්ගේ වීඩියෝ පටයේ අන්තර්ගතයි. මීට අමතරව මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට හේතු ලෙස සහරාන් හෂීම් සඳහන් කරන්නේ‍,  "1.අල්ලාහ් දෙවියන් ට බැන වැදීම සහ අවමන් කිරීම 2.කුලියාපිටියේදී ඌරෙකුගේ රූපයක් මත අල්ලාහ් යනුවෙන් සඳහන් කිරීම 3.අල්ලාහ් දෙවියන්ට නැවත පුනරුත්පත්තියක් ඇති බවට ඥානසාර හිමි විසින් ප්‍රකාශයක් සිදු කිරීම 4.මොහොමඩ් නබි තුමන්ට බැන වැදීම 5.කුරානය ඉරා දමා විනාශ කිරීම 6.මස්ජිද් පල්ලි කඩා බිඳ දැමීම 7.මුස්ලිම් ජනතාවගේ නිවෙස් ගිනි තබා ආර්ථිකය විනාශ කිරීම 8.ජාත්‍යන්තර කුරුස යුද්ධයට ශ්‍රී ලංකාව සහභාගි වීම 9.අල්ලාහ් දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම පිළිනොගන්නා පුද්ගලයින් දුටු තැන ඝාතනය කිරීම"  යන සාධකයි. එමෙන්ම මෙම ප්‍රහාරයන් සිදු සිදුකිරීමේදී විනාශ වන මස් සහ ඇට කැබලි මඟින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමේ බීජයක් රෝපණය වන බවත් ඉන්දියාවේ සිටින විරුද්ධවාදීන් ඉලක්ක කරගෙනද මෙවන් ප්‍රහාරයක් සිදු කළ යුතු බවත් සහරාන් හෂීම් පවසා තිබේ. මෙම ප්‍රහාරය සිදු කරනු ලබන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අල්ලාහ් දෙවියන් වහන්සේට සිදු සිදුකරන ලබන ගෞරවයක් වශයෙන් බවත් එහි සඳහන්. විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන තැන් තැන් වල බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණක් බවත් ඉදිරියේදී බොහෝ පිරිසක් කණ්ඩායම් වශයෙන් ඝාතනය කරනු ඇති බවත් අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ ඔවුන්ට බදු ගෙවීම සිදු කළ යුතු බවත් වීඩියෝ පටයේ සඳහන් වෙයි. අනතුරුව කොමිසමේ අවධානය යොමුවුණේ මෙම වීඩියෝ පටය පටිගත කළ ස්ථානය පිළිබඳවයි. ගල්කිස්ස Span Tower නිවාස සංකීර්ණයේ දී අදාළ වීඩියෝ පටය වීඩියෝ ගත කර ඇත්තේ ප්‍රහාරයට පෙර අප්‍රේල් 20 වැනිදා දහවල් 1 සිට සවස 3 අතර කාලයේදී බව සාක්ෂිකරු පැවසුවේය. පසුව කොමිසම විමසා සිටියේ සහරාන් හෂිම් අතැතිව සිටින ගිනිඅවිය පිළිබඳවයි. එය ටී 56 වර්ගයේ ගිනි අවියක් බවත් 2017 වර්ෂයේ සිට සහරාන් අවි පුහුණුව සඳහා අදාල අදාළ ගිනි අවිය භාවිත කර තිබුනත් සිය විමර්ශනයේදී මෙවන් ගිනි අවියක් තමන්ට සොයා ගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකරු කොමිසමට පැවසුවේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017