වෙසක් අසිරිය මකාදැමීමට නම් කොවිඩ් වසංගතයට හැකි වූයේ නැත.



මෙවර වෙසක් පුන් පොහොය උදා වූයේ කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා මුළු රටටම ඇඳිරිනීතිය පැනවූ පසුබිමකයි.

එහෙත් වෙසක් අසිරිය මකාදැමීමට නම් කොවිඩ් වසංගතයට හැකි වූයේ නැත.

ඊයේ (07) පෝ දින දිවයිනේ වෙහෙර විහාරස්ථාන මෙන්ම නිවෙස්ද වෙසක් සැරසිලි වලින් සුපුරුදු පරිදි අලංකාරවත් කර තිබෙනු දක්නට ලැබුණි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසා මෙවර වෙසක් දින සැමරුම් නිවෙස්වලට පමණක් සීමා කිරීමට සිදු විය.

ඒ අනුව වෙනත් වසරවල සුලබව දක්නට ලැබුණු තොරණ , දන්සල් , වෙසක් සැමරුම් මෙවර දක්නට ලැබුණේ නැත.

එහෙත් බෞද්ධ සැදැහැවතුන් සිය නිවෙස් සුපුරුදු පිරිදි වෙසක් සැරසිලි වලින් අලංකාරවත් කර තිබූ අතර ආගමික වතාවත්ද නිවෙස්වල සිට සිදු කරමින් සම්බුදු තෙමඟුල සැමරුමට නිසි අර්ථවත්බවක් ලබා දී තිබුණි. එමෙන්ම සෑම ප්‍රධාන විහාරස්ථානයක්ම වෙසක් සැරසිලිවලින් අලංකාරවත් කර තිබුණේය.

ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සංවිධාන කෙරුණු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රජමහා විහාරස්ථානයේදීයි.

සධාතුක කරඩුව වැඩම කරවීම සහ චාරිත්‍රාණුකුලව සර්ව රාත්‍රික ධර්ම දේශනයට මහසඟරුවනට ඇරයුම්කිරීමද ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබුවේය. 

බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳ මාලිගාවේ සාම්ප්‍රදායික වෙසක් පෙරහැර මෙවරද සාම්ප්‍රදායනූකුලව පැවැත් විය.

කෙසේවෙතත් මෙවර පෙරහැර පැවැත්වුණේ මාළිගා ඇතුළත පෙරහැරක් ලෙසයි.

තේවාව භාර නා හිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධාලංකාර හිමියන් විසින් පෙරහැර කරඩුව වැඩවීම සිදු කළේය. කොවිඩ්වලට යට නොවූ වෙසක් වෙසක් දින සිදු කෙරෙන චාරිත්‍ර අතුරින් ප්‍රධානම චාරිත්‍රයක් වන්නේ සිරි පා වන්දනා සමයේ නිමාව සනිටුහන් කරමින් සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා යළි වැඩමකරවීමයි. 

එම චාරිත්‍රය ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස්වල සහභාගිත්වයෙන් අද මෙලෙස ඉටුකෙරුණි.

ඒ , සැදැහැවතුන්ගේ සහභාගිත්වයකින් තොරවයි.

සම්බුදු තෙමඟුල සැමරීමට එක් වන ලෙස කාදිනල් හිමියන්ද ඊයේ කිතුණු ජනතාවට ඇරයුම් කර සිටියේය.

ඒ අනුව බෞද්ධ සැදැහැවතුන් සමඟ එක්ව කිතුණුවන්ද මෙවර වෙසක් සැමරුමට එක්ව සිටි අතර කොළඹ අගරදගුරු නිල නිවසද වෙසක් සැරසිලිවලින් අලංකාරවත් කර තිබුණි.

වෙනදාට වෙසක් සිරියෙන් ඇළලිගිය කොළඹ වෙසක් පුන් පොහෝදින ඒ පරිද්දෙන්ම දිස් නොවුනත් විහාරස්ථාන හා ගොඩනැගිලි රැසක් මෙන්ම මංමාවත්ද අලංකාර වෙසක් කුඩු සහ විදුලි ආලෝකයෙන් සරසා තිබුණේ මේ ආකාරයටයි.

කොවිඩ් වසංගත තත්වය නිසා මංමාවත් , වෙහෙර විහාරස්ථාන ජනශුන්‍යව පැවතියත් දිවයිනේ ප්‍රෙද්ශ රැසක් වෙසක් සැරසිලිවලින් අලංකාරවත් කර තිබුණේය.

මේ අතර මහානූභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනය කිරීම කැලණිය රජමහා විහාරස්ථ පුදබිමේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණි.

එය ටී.වි.දෙරණ ඔස්සේ සජීවීව විකාශය කරනු ලැබුවේය.

වෙසක් සැමරුමට කොවිඩ් වසංගතයෙන් බාධා එල්ල වුවද වෙසක් අසිරිය මකාදැමීමට ඊට හැකි වූයේ නැත.

මෙවර නිවෙස්වල සිට වුවත් බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් සම්බුදු තෙමගුලට නිසි අරුතක් ලබාදීමට කටයුතු කළ ආකාරය සැබැවින්ම ප්‍රශංසනීය වේ.

1 view
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017