විවිධ හේතු මත හානි වූ බුදු පිළිම වහන්සේට ගෞරවනීය ආදාහනයක් ලබා දීම



විවිධ හේතු මත හානි වූ බුදු පිළිම වහන්සේට ගෞරවනීය ආදාහනයක් ලබා දීම වෙනුවෙන් සංවිධාන කෙරුණු බුද්ධ ප්‍රතිමා ආදාහන පූජෝත්ස්වයක් ඊයේ(08) පැවැත්විය.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මෙම ආදාහන පූජෝත්සවය සිදුකෙරුණේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන්.

ත්‍රිවිධ චෛත්‍යයන්වලින් එකක් වන බුදු පිළිම වහන්සේ සැදැහැවතුන් දහ දහස් දෙනාගේ වන්දනාමානයට නිරන්තරයෙන් පත් වෙයි.

නමුත්, දුර්වර්ණ වූ , බිඳී ගිය හා නොයෙකුත් අයුරින් හානි වී ගිය බුද්ධ ප්‍රතිමාවලට කළ යුත්තේ කුමක්ද යන්න බෞද්ධයින් තුළ නිසි අවබෝධයක් නැහැ.

එම නිසා හානි වූ එම පිළිම විහාරස්ථානවල, විහාරගෙවල්වල හා බෝධින් වහන්සේ අසල තැන්පත් කිරීමට ජනතාව කටයුතු කරයි.

මෙය අසුබ දර්ශනයක් වීමත්, එය අගෞරවනීය වීමත් නිසා එම බුද්ධ ප්‍රතිමා වහන්සේට ගෞරවනීය ආදාහනයක් ලබාදීම උදෙසා එම පිළිම කලක් තිස්සේ එක්රැස් කිරීම ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබුණි.

එසේ එකතු කරන ලද බුදු පිළිම නිසි ගෞරවයක් ලබාදී ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන භූමියේ ආදාහනය කෙරුණේ  ඊයේ දිනයේදියි.

මේ සඳහා සඳුන් දර සෑයක් නිර්මාණය කර තිබුණු අතර එය මල් වලින් සරසා තිබුණි.

එම දර සෑයේ තැන්පත් කරන ලද හානි වු පිළිම වහන්සේට මල් පූජාවන්  සිදු කර ආගමික වතාවත්වලින් පසු මෙලෙස ආදාහනය කෙරුණේ දැන උගත් ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මතයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු අදාහන පුජෝත්සවය පැවැත්වූ අකාරයට සමාන වන අයුරින් මෙම ආදාහන පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කළ බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.

එය එළෙස සිදු කර ඇත්තේ බුද්ධ ප්‍රතිමා වහන්සේට නිසි ගෞරයක් ලබා දීම උදෙසායි.



2 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017