වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ(20) දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.




කොවිඩ්-19 වෛරස වසංගතය ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ(20) දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසයෙන් අද වන විට වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතයන් ගණන ලක්ෂ 50 කට අධිකයි.

වාර්තා වන ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ විසි නව දහස ඉක්මවයි.

කොවිඩ් වෛරස වසංගතය ව්‍යාප්ත වීම ආරම්භවූ දා සිට තම සංවිධානයට දිනක් තුළ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වුණේ ගෙවුණු පැය 24 දී බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසයි.

මෙම වසංගතය සමග තවත් දීර්ඝ කාලයක් ගමන් කිරීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලොව පුරා රටවල්වලින් ගෙවුණු පැය 24 දී නව ආසාදිතයන් එක් ලක්ෂ හයදහස ඉක්මවූ පිරිසක් වාර්තා වී ඇති අතර එයින් තුනෙන් දෙකක පමණ පිරිසක් වාර්තා වී තිබෙන්නේ රටවල් 4කින් වීම විශේෂත්වයකි.

එම රටවල් වන්නේ අමෙරිකාව, බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාවයි.

මේ වන තෙක් වාර්තාවී ඇති දත්තවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී තිබෙන්නේ බ්‍රසීලයෙන්ය.

එම සංඛ්‍යාව 21,472 කි.

ඒ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ගණන 293,357 දක්වා ඉහළ යන අතර සමස්ත මරණ සංඛ්‍යාව අදවන විට දැක්වෙන්නේ 18,894 ක් ලෙසයි.

බ්‍රසීලයෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද වාර්තාවී ඇත්තේ ඊයේ දිනයෙන් වන අතර එම සංඛ්‍යාව 911 කි.

මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  ප්‍රවර්ධනය කෙරුණු, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොකුවීන් ඖෂධය භාවිතය වැඩි කිරීම සදහා බ්‍රසීලයේ බොල්සොනාරෝ පාලනය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන මාර්ගෝපදේශන මාලාව එරට නව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ද අනුමත කර ඇති අතර ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

33 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017