ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630 දෙනෙකු අත්අඩංගුවට.




අද(07) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එමෙන්ම එම කාලය තුළ වාහන 209ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා බලපැවැත් වෙයි. ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 47,866ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 12,448ක්. මේ අතර මිද්දෙනිය තෝරකොළයාය ප්‍රදේශයේ වගාකර තිබු අක්කර දෙකක පමණ කංසා වගාවක් විනාශ කර දැමීමට දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය කටයුතු කළේය. එහිදී සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට පත්ව තිබේ. ඉපලෝගම පොලිස් නිලධාරීන් විසින් හිරිපිටියාගම පාලුකුඹුක්වැව් ඉස්මත්තේ සිදුකළ වැටලීමකදී ගෝඩා පිරවූ ​බැරල් 6 ක් හා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට ගන්නා උපකරණ සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනුණා. මඩකලපුව පෙරුමාවෙලි ප්‍රදේශයේදී ගවයින් හයදෙනෙකු පැහැරගෙන යාමට තැත් කළ පුද්ගලයින් සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය. මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේදී මත්පෙති 100ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය. වතුගෙදර,බටපොළ හා දොඩන්දූව යන ප්‍රදේශවල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරතවූ හා එම මත්පැන් ළඟ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු ගාල්ල සුරාබදු ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුණි. සීදුව අමන්දොළුව හා ජයවර්ධනපුර ප්‍රදේශවල ඇඳිරි නීතිය පවතින අතරතුර නිවාස 03 කට ඇතුළු වී එහි තිබූ විදුලි උපකරණ සොරකම් කළ තිදෙනෙකු සීදුව පොලිස් නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017