top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අධ්‍යාපන පද්ධතිය නඟසිටුවීමට දිස්ත්‍රික් මට්ටමින් පවතින සංවර්ධන අවශ්‍යතා සහ අභියෝග අයවැය යෝජනාවලට....



මෙරට අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්,එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ වැඩපිළිවෙළෙහි පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මතුව ඇති ගැටළු පිළිබඳ සොයාබැලීමේ දී ඇතැම් ගැටළු සඳහා ඉතා පහසුවෙන් කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, ඇතැම් ගැටළු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතුව පවත්නා බවත්, ඇතැම් තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සැලකිය යුතු කාලයක් ගතවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළ ගුරු හිඟය, ගුරු මාරු ක්‍රියාවලිය තුළ පවතින ගැටළු, භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු බොහෝ ගැටළුවලට අදාළව ඉදිරි අයවැයේ දී යෝජනා ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය. සංවර්ධන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධාන සම්පත මානව සම්පත බවත්, මානව සම්පත නිවැරදිව සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිමහත් කාර්යභාරයක් පැවරෙන බවත්, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස්කිරීම වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති රාජ්‍ය අමාත්‍යාංශයන්හි ද මනා සම්බන්ධීකරණයක් සහිතව ඉදිරියේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය. පොළොන්නරුව මනම්පිටියේ නව විශ්වවිද්‍යාලය ඉදිකිරිමට යෝජිත ස්ථානය ගල්ලෑල්ල ප්‍රදේශයේ යෝජිත නව ජාතික පාසල ඉදිකෙරෙන ස්ථානය සහ කීර්තිමත් ඉතිහාසයක් සතු මින්නේරිය ජාතික පාසලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිස මෙහි දී එක්වූහ. මේ අවස්ථාවට, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

1 view0 comments
bottom of page